කාන්තා අත්බෑගය fashion icon එකක්ද?

බෑග් එක fashion icon එකක්ද? මේ ප්‍රශ්නයට දෙන්න තියන සරලම පිළිතුර තමයි, “ඔව්.”
ඇයි මම එහෙම කියන්නේ. අපි ගොඩාක් දෙනෙක් නොදන්නා කාරණාවක් වුනාට කෙනෙකුව වඩාත් ඔප මට්ටම් කරල එයාට ලස්සන පෙනුමක් අරන් එන්න කෙනෙක් පාවිච්චි කරන බෑග් එකට හා සපත්තු කුට්ටමට පුළුවන්. වැඩි දෙනෙක් ලොකු අවධානයක් නොදැක්වූවත් විලාසිතා කරන කෙනෙකුව කැපී පෙනෙන්න මේ අංග දෙක බලපානවා.

ඉතින් අද ඔයත් එක්ක බෙදා ගන්නේ කාන්තා අත්බෑග් විලාසිතා ගැන අදහස්  ටිකක්. බලන්නකෝ මේ දේවල් ගැන මීට කලින්
ඔයා දැනුවත්ව හිටියද කියල.

ලොව ප්‍රසිද්ධ සහ ඉතාමත් මිල අධික අත්බෑග් වෙළද නාමයන්.

Coach Handbags.
Louis Vuitton Handbag. 
Marc Jacobs Handbag.
Michael Kors Handbags.
Gucci Handbag

මෙන්න මේ වෙළද නාමයන් සදහන් අත්බෑග් ලෝකයේ ඉතාමත් ජනප්‍රිය අධික වෙළද වටිනාකමකින් යුත් නාමයන්. බොහෝ
වෙලාවට මේ බෑග් භාවිතා කරන්නේ ලෝකයේ ජනප්‍රිය ගායිකාවන්, රංගන ශිල්පිනියන් , නිවේදිකාවන්, රූපලාවන්‍ය
ශිල්පිනියන්, විධායක නිළධාරිනියන් සහ මේවගේ බෑග් එකකට මූල්‍යමය බරපැන දරන්න පුළුවන් ධනවතුන්.

 

මේ අතරිනුත් Gucci Handbag සහ Louis Vuitton Handbag මිලදී ගන්න ලෝකයේ තරුණියන් ඉතාමත් රුචිකත්වයක්
දක්වනවා. කොයිතරම් මිල අධික වුනත් එම බෑග් හරහා තම විලාසිතා ප්‍රතිරූපයට එක්වන වටිනාකම වැඩි වන බව ඔවුන්
පවසනවා.

ඉතින් ලංකාවේත් මෙවැනි බෑග් කරලියට එනවා දැකගන්න පුළුවන්, නළු නිලියන් අතේ රැදෙමින්. ඒත් බොහෝ දෙනෙක් මේ
බෑග් විලාසිතා ගැන දැනුවත්කම අඩු නිසා ඔබ එවැනි බෑග් ඔවුන් අත තිබෙනවා දැක්කත් විමසිල්ලෙන් බලල නැතුව ඇති.

ඉතින් Louis Vuitton Handbag එකක් ලංකාවෙ මුදලින් රුපියල් එක් ලක්ෂයේ සිට ඉහළට බලා ගන්න පුළුවන්.  සමහර වෙළද නාමයන් වල මිල පටන් ගන්නේ ලංකාවේ මුදලින් රුපියල් පන් ලක්ෂයත් ඉක්මවමින්. ලෝකයේ සුපිරි ධනවතුන් එම වෙළද නාම පරිහරණය කරනවා.

ඉතින් දැන් ඔබට වැටහීමක් ඇති කාන්තා අත් බෑගයකට හිමිවන වටිනාකම ගැන. ඉතින් ඔබ පාවිච්චි කරන බෑගය රුපියල් ලක්ෂයක බෑග් එකක් වුනත්, රුපියල් පන්සීයක බෑග් එකක් වුවත් කමක් නැහැ. එය නිවැරදිව පරිහරණය කරන්නේ කොහොමද කියල අපි ඉ‍ගෙන ගමු.

කාන්තාවක් අතේ නිතරම අත්බෑගයක් තිබිය යුත්තේ ඇයි?

සමහර තරුණියන් අත්බෑග් භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් බැක්පැක් එකක් හෝ පර්ස් එක රැගෙන යන්නට
කැමතියි. නමුත් ඔබ දන්නවාද වැදගත් තරුණියක් නිතර තමන් භාවිතා කරන පුද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනය පිණිස
රැගෙන යන්නේ නැහැ. උදාහරණයක් විදිහට තමන්ගේ වොලට් එක ඒ  කියන්නේ මුදල් පසුම්බිය, ලේන්සුව, දුරකතනය, කුඩය,
අව්කණ්නාඩිය මේ දේවල් අතේ රැගෙන යන එක එතරම් උචිත නැහැ.ඔබේ පර්ස් එක කොතරම් ලස්සන වුනත් ඒකේ තියෙන්නේ මුදල්. වැඩි මුදල් ප්‍රමාණයක් එහි තියනවා නම් ඔබ එය අතේ
රැගෙන යන එක ආරක්ෂිත නැහැ. පර්ස් එකේ සන්තකේටම තියෙන්නේ රුපියල් විස්සෙ කොල දෙකකුයි රුපියල් සීයකුයි නම්
ඔන්න ඒකත් දකින කෙනෙක්ට ඔබ ගැන හොද පින්තූරයක් දෙන්නේ නැහැ. කොයිතරම් මිල අධික දුරකතනයක් ඔබ භාවිතා
කරත් එයට එන්නේ ඔබගේ පෞද්ගලික ඇමතුම්, පණිවුඩ. මෙනිසා ඔබේ දුරකතනය අවශ්‍ය අවස්ථාවේදී පමනක් භාවිතා
කිරීම වඩාත් උචිතයි.

 

Mandatory Credit: Photo by Olivier Degoulange/REX/Shutterstock (9334831b)
Detail of bag, Street Style
Street style, Spring Summer 2018, Haute Couture Fashion Week, Paris, France – 24 Jan 2019

වැදගත් මහත්මියක්, මෙනෙවියක් තම කුඩය අතේ එල්ලාගෙන ගමන් යන්නේ නැහැ. ඉන් ඔබේ පෙනුමට එක්කරන්නේ බාල
බවක්. නොවැදගත් ගතියක්. එනිසා නිතරම තමන් සතු අත්‍යවශ්‍ය භාණ්ඩ අත්බෑගයක තබා ගන්න. අවශ්‍ය අවස්ථාවේදී ඒවා
බෑගයෙන් පිටතට ගෙන භාවිතයට ගන්න. එයින් ඔබේ පෞර්ෂත්වයට එක්වෙන්නේ අලංකාරයක්.

බෑගයක් ඇතුලත තියෙන්න ඕනා දේවල් මොනවාද?

ස්මාට් කාන්තාවක් නිතරම කෝ අනේ මේ බෑග් එක ඇතුලේ තිබ්බ මගේ පෑන? කෝ අප්පා ෆෝන් එක? මේ යතුරු ටික
හොයාගන්නම බැහැ මේක ඇතුලෙන් කිය කිය හොය හොය ඉන්නේ නැහැ.

තමන්ගේ බෑග් එකේ බඩු තියන පිලි‍වෙල නිතරම තමන්ගේ මනසේ ඇදපු පින්තූරයක් වගේ පැහැදිලියි. ඒක එහෙම වෙන්න
නම් ගත්තු ගත්තු හැමදේම බෑග් එකේ ඔබාගෙන හරියන්නේ නැහැ. බෑග් එක කියන්නේ කබඩ් එකක් නෙමෙයි. සීමිත
ඉඩකඩක් ඇතුලේ ඔයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ තැන්පත් කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ.

මේ නිසා ඔබ අත්බෑගයක් මිලදී ගැනීමේදී එහි අමතර සාක්කු (පොකට්) එකක් හෝ දෙකක් තිබීම වටිනවා. මීට අමතරව එම
බෑගය කොටස් දෙකකට හෝ තුනකට වෙන් වෙනවානම් හොදයි. නමුත් ඇතැම් අයගේ රුචිකත්වය මත එය වෙනස් වනවා.

 

තරුණියකගේ අත් බෑගයක් තුළ තිබිය යුතුම දේ තමයි පෑනක්. හොද වර්ගයේ එක පෑනක් මිලදී ගෙන එය නිතරම ඔබේ
බෑගයේ පිටත පොකට්ටුවක තබා ගන්න. බැංකුවට හෝ වෙන කවරයම් ස්ථානයකදී රාජකාරි කටයුත්තකදී පෑනක් සොයමින්
තැවී තැවී කාලය නාස්ති වෙන එක එයින් වලකිනවා. හරිම ස්මාර්ට් විදිහට ඔයාගේ වටිනා වර්ගයේ පෑන බෑගයෙන් පිටතට
ගෙන අත්සන් කරන්න ඔබට පුළුවන්. ඔබේ ඇගිලි අතරින් අර වටිනා පෑනෙන් අත්සන තබන දිහා බලාගෙන ඉන්න කෙනෙකුට උනත් ඔබ ගැන ඇතිවෙන්නේ විශේෂත්වයක්.

මීලගට දුරකතනය, මිල කොතරම් අධික දුරකතනයක් වුනත් කමක් නැහැ අයිෆෝන් x එකක් ඔයාට කියනවා කියල පෙන්න ඕක නිතරම අතේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. නිතර නිදහස් දෑතකින් ඉන්න. එවිට ඔබේ දෑතේ ඇගිලි මත තියන මුදුව නිය
ආලේපන දෑත් වල හැඩය ලස්සනට පෙනෙනවා. දුරකතනයත් එකක් ඔබ ගීත අසන්න ප්‍රිය කරන කෙනෙක් නම් හෙඩ් සෙට්
එකත් බෑග් එකේ ලග තියාගන්න. ඊගලට පවර් බෑන්ක් එක. චාර්ජර් එකක් හැමතැනට අරන් යනවට වඩා ලස්සනයි ඔයාටම
කියල පොඩි පවර්බෑන්ක් එකක් තියන එක.

ඊලගට අව්කණ්ණාඩි. අව්කණ්නාඩි කියන්නේ විලාසිතා අංගයක්ම නෙමෙයි. ආසියාතික රටවල තියන දැඩි හිරු කිරනින්
ඔබේ ඇස් ආරක්ෂා කරගන්න නම් අව්කණ්නාඩියක් පැලදීම අත්‍යවශ්‍ය කාරණාවක්. අවාසනාවට ලංකාවේ අමුතු තාලේ
ඇන්ටිලාට අව්කණ්නාඩි දාගෙන යන තරුණකාන්තාවක් දැක්කහම නිකන්ම හිනා යනවා. ඒත් ඔබ එසේ වියයුතු නැහැ.
අවබෝධයෙන් දැනුවත්භාවයෙන් විලාසිතා කරන්න. එය අනෙක් කෙනාටත් ආදර්ශයක් වේවි.

මුදල් පසුම්බිය වගේම මාරු කාසි දාන පුන්චි පසුම්බියක් එකතු කරගන්න එක ඔයාගේ මුදල් නිකරුනේ නාස්ති වීම වලකිනවා.
රුපියල් දෙකක් පහක් හතක් වගේ මාරු නැහැ කියල ඒ ගාන රුපියල් දහයකින් විස්සකින් අඩු කරගන්න වෙන අයට අවස්තාව
දෙන්න එපා. විශේෂයෙන් බස් රථයේදී හා වෙළදසැලේදී.

පොඩි පර්ෆියුම් බෝතලයක්. මින්ටොස් එකක්. හෝ හැක්ස් ටොෆියක් නැතිනම් මවුත් වොෂ් එකක් තියාගන්න ඒක ප්‍රසන්න බව ඇති කරගැනීමේ පොඩි රහසක්.

 

ඔබමේකප් බාවිතා නොකරන කෙනෙක් නම් මෙන්න මේ වගේ දේවල් ටිකක් බෑගයට එකතු කරගන්න.
වෙට් ටිෂූ පැකට් එකක්. ලිප් බාම් එකක් ඔයාගේ බෑගයේ ප්‍රසන්න රහස් අතරට එකතු කරගන්න. පොඩි පනාවක් තියන එකත්
හොදයි. ගොඩාක් කාර්‍යබහුල දිනයකදී වෙට් ටිෂූ එකකින් මුහුණ පිසදාගන්න. දෙහි මිශ්‍රිත ටිෂූස් ගොඩක් හොදයි. එය මුහුණමතට එන දුහුවිලි ඉක්මනින් ඉවත් කරමින් විශබීජනාශකයක් ලෙස ක්‍රියාකරනවා. මිහිරි සුවදකුත් දෙනවා. දැන් ඔය කරකුට්ටන් වෙලා තියන තොල් මතට ලිප් බාම් එකක් ආලේප කරන්න. ඔන්න දැන් ආයෙමත් ඔයා ප්‍රසන්න පෙනුමයි.

පොඩි පැරසිටමෝල් පෙති දෙකක් නැත්නම් හෙඩ් බාම් එකක් ලග තියාගන්න. ඒක හදිසි අවස්ථාවකදී ප්‍රෙයෝජනවත්.

ගෙදර ප්‍රධාන දොරේ යතුර වෙනුවට ගෙදරට ඇතුලුවෙන්න පුලුවන් අමතර දොරක යතුරක් ඔබ ලග තියාගන්න. අතිරේක
යතුරු කැරැල්ලක්ම ඔබේ බෑගයේ තබා ගන්න එපා. එය සොර සතුරන්ට අමතර අවස්තා ලබා දීමක් විය හැකියි.

සනීපාරක්ෂක තුවායක් අනෙකුත් සෑම දෙයක් වාගේම වැදගත්.ඔබේ බෑගයේ වැදගත් ඉඩක් ඊට ලබා දෙන්න.

පුන්චි නෝට් බුක් එකක් ලග තියාගන්න. විශේෂ දින, නැත්නම් ඔබ නිර්මාණශීලී අයෙක් නම් අලුත් අදහස් එහි ලියන්න.
දිනයේ රාජකාරි පිළිවෙල පවා පොඩි සටහනක් දා ගන්න .

මේ දේවල් බෑග් එකට දාද්දි නිතර මතක තියාගන්න ඕන දේ තමයි හැම කුනු ජරාවක්ම බෑග් එකේ දාගන්න එපා කියන එක.
නැත්නම් බෑග් එක විසබීජවලට නිවහනක් වේවි. තෙත ලේන්සු, මුහුන පිහදා දහඩිය සමග බෑග් එක ඇතුලට දාන ටිෂූ, මගදි කන්න ගත්තු කඩල මුලේ ඉතිරි ටික මේ වගේ දේවල් බෑග් එක ඇතුලට දා ගත්තොත් ඔයා නොදැනීම නොදන්න චර්මරෝග පවා ඔයාගේ ඇගට අසාධනය වෙන්න පුළුවන්. ඒ දේ වෙන්නේ බෑග් එකේ එකතු වන බැක්ටීරියා නිසා.

ඒ නිසා පරන ටිකට් බිල් ඔක්කොම බෑග් එකෙන් ඉවත් කරල වෙනම ෆයිල් එකකට හරි වෙනත් තැනක හරි රදවන්න. බෑග්
ඒක පිලිෙවලකට තියා ගන්න.

එකම බෑග් එක හැමතැනටමත්, හැම බෑග් එකක්ම හැම තැනකටමත් සුදුසු නැහැ.

මම මේ දැන් කියන්න හදන්නේ හරිම සරල කාරණාවක්. ඔයා ලග තියාගෙන ඉන්න කලු පැහැති බෑග් එකක් නම් ඔන්න ඔයාට
වද වෙන්න කාරණාවක් නැහැ. කලු අත්බෑගයක් ඕනෑම තැනකට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඇතැම් බෑග් වර්ග තියනවා
ඒවා භාවිතා කරන්න පුළුවන් සීමිත ස්ථාන වලට විතරයි. උදාහරණයක් විදිහට රතු,කහ සහ රෝස පැහැති බෑග් සෑම
ස්ථානයකටම පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.

 

කලු සහ ලා නිල්, ලෙදර් දුඹුරු පැහැති අත් බෑග් පහසුවෙන් ඕනෑම ඇදුමකට සහ අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන්.

බැක්පැක් හා බීච් බෑග් වලට ඔබ කොයිතරම් ආස වුනත් ඒ බෑග් භාවිතා කරන්න පුළුවන් සීමිත අවස්ථාවන්හීදී විතරයි. ඔබ
පාසල් යන වයසේ පසුවන සුන්දර යුවතියක්නම් බැක්පැක් එකක් වඩාක් උචිතයි. නමුත් මේ බැක්පැක් එක අරගෙන ඔයාට
රාජකාරී කටයුත්තකට යන්න බැහැ. එය එතරම් උචිත නැහැ. ඔෆිස් යනවනම් පාවිච්චි කරන්න ඕන ඔෆිස් එකට ගැලපෙන
බෑගයක්.

ඔෆිස් බෑග් එකක් තෝරගන්නේ කොහොමද?

ඔෆිස් එක කියන්නේ ඔබේ වෘත්තීමය දක්ෂතාවය එළියට එන තැන. එතැන රාජකාරියට යද්දි ඔබත් වෘත්තීමය කෙනෙකු බවට
පත්වෙන්න. ඇදුම් පැලදුම්, පළදින ආභරණ , කතා කරන භාෂාව වගේම කන බොන විටදී පවා වෘත්තීමය ගරුත්වය රැකගෙන
කටයුතු කරන්න. මෙහිදී ඔබ දිනපතා සේවා ස්ථානයට රැගෙන එන බෑගයට වැඩි වටිනාකමක් ලබා දෙන්න අමතක කරන්න
එපා.

සාමාන්‍යයෙන් ඔෆිස් භාවිතය සදහා සුදුසු වෙන්නේ satchel යන වර්ගයට අයත් අත් බෑග්. මේවා ඉතාමත් වෘත්තීය මට්ටමක්
පෙන්වනවා. ලොව බොහෝමයක් කාන්තාවන් satchel බෑගය කාර්යාල භාවිතය සදහා යොදාගන්නේ එහි ඇති පහසුව නිසා.ඒ
වගේම එහි තියන buckle විලාසිතාව බෑග් එකේ පෙනුම වැඩි කරනවා. දැන් මේ බකල් මැග්නටික් ටික් එකක් විදිහටත් සවි
වෙලා එනවා. සාමාන්‍යයෙන් මේ බෑග් වලට ඉතාමත් පහසුවෙන් නෝට් බුක් පිලිවලට ඇතුල් කරන්න පුළුවන්. ඒක හරි
ස්මාට්. ඒ වගේම satchel බෑග් එකක් මිලදී ගද්දි එහි නිමාව වගේම යොදාගෙන තියන මෙටීරියල් එක මොකක්ද කියලත්
බලන්න. ලෙදර් බෑග් එකක් ගොඩක් හොදයි. එහෙමත් නැතිනම් ඔයාට නයිලෝන් කැන්චස් කියන වර්ග වලිනුත් මේ බෑග් දකින්න පුළුවන්.කලු පැහැය හා ලෙදර් දුඹුරු පැහැය සුදු පැහැයත් හරි ලස්සනයි.

මේ බෑග් වලට අමතරව සාමාන්‍ය කොටු හැඩයට නිමවුනු ඇතුලතින් සිපර් එකක් හරහා වැසෙන බෑගයත් කාර්යාල භාවිතයට සුදුසුයි. එය සාමාන්‍ය බෑගයක් විදිහට දකින කෙනෙකුට හදුනාගන්න පුළුවන්. මේ බෑග් වර්ග දෙක හැරුනු විට බීච් බෑග්,
ක්ලචස් , ස්කූල් බෑග්ස්, හැන්ඩි බෑග්ස්, වේවැල් බෑග්, රෙදි බෑග් හා බකල් විශාල වෂයෙන් යෙදූ විශාල ප්‍රමාණයේ බෑග් භාවිතා
කරන්න එපා. එය ඔබගේ පෙනුමට එතරම් උචිත නැහැ.

 

ෆැෂන් කරන්න උචිත බෑග් වර්ග මොනවාද?

උත්සව අවස්ථාවක් නොවන සාමාන්‍ය ගමන් බිමන් යන විටදි ඔබ ෆැෂනබල් විදිහට යන්න කැමති කෙනෙක් නම් ඔන්න අත් බෑග් විලාසිතා අපූරුවට භාවිතා කරන්න පුළුවන්. මේ බෑග් පැලදීමේදී ඉන් ඉස්මතු වන්නේ ඔබේ විලාසිතාත්මක රූපයයි. මේ වෙලාවෙදි සැලකිලිමත් වෙන්න අවශ්‍ය කාරණය තමයි බෑග් එක වගේම ඔබ පලදින අනෙනක් අංගත් බෑග් එක හා ගැලපෙන ලෙසින් යොදාගැනීම. ඒ කියන්නේ ඔබ පලදින විලාසිතාවට ගැලපෙන අයුරින් බෑගය භාවිතා කරන්න ඕනේ.

පහතින් දැක්වෙන්නේ එවැනි යුනීක් අත්බැග්විලාසිතාවන් පෙලක්.

 

ඉතින් අද ඉදන් ඔබත් ලස්සනට හැඩ වෙන්න කැමති කෙනෙක් නම් බෑග් එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි. ලෝකය
ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. අපි අලුත් දේවල් ඉක්මනින් ග්‍රහනය කරගෙන අනෙත් අයත් එක්ක ඉදිරියට ගමන්
කරන්න ඕනේ.

ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.

Leave a Reply

Your email address will not be published.